හුරු සුසිරිත් දුසිරිත් දුරු
ගුරුවරු දරු ලොව දෙවිවරු
දරු තරු වෙත් මතු රජවරු
ගුරු දින නමදිමු ගුරු තරු..
*හොඳ සිරිත් ඇති දුසිරිත් දුරු කළ ගුරුවරු දරු ලොව දෙවිවරු වෙති. මතු රජවරුන් වන්නෝ දරුවෝ වෙත් .
ගුරු දින ඒ සත් පුරුෂ ගුරුවරුන් නමදිමු.......
-----------
 
තවත් කෙනෙකුගෙ ජීවිතේ ලස්සන කරන්න තමන්ගෙ වටිනා කාලයෙන් එක මොහොතක් හරි කැප කරනවා නම් ඒ කෙනා අපි හැමෝටම වඩා ලස්සයි හඳවතින් ඇත්තමයි....
විෂයට සීමා උනු ගුරුවරු අතරේ ජීවිතේ කියා දුන් ගුරුවරුන් ඔබ ඇත්තටම හරිම සුන්දරයි හඳවතින්.....
නුඹව දන්නා හැම කෙනෙක්ම teacher කියලා කතා කරන ඔබ ගැන කවි නිසදැස් ලිය වෙන විෂයට එහා ජීවිතේ රටා මවලා පාට කරන්න කියල දෙන
"මා පසු පස ඇවිත් නුබ මා පසු කර යනදා මා දිනුම් පුතේ කියන සිතුවිල්ල ඔබේ සිත තුල වැජඹෙන ඔබ ඇත්තටම ගුරු තරුවක් දිනක මේ ලෝකයම....
------------
 
නැතා ගුරු සිත් පරදිණූ.....
බොහෝ කල පවු ඇති අපා සිත්
නොබෝ කලකින ලොබින් වී මත්
අහෝ වැරදුන සමිඳු දෙව්දත්
එලෝ වැඩියෙන් පලා පොළොවත්...
තොටගමුවෙ රාහුල හිමි
බිඳ දමා ගුරු ගරු බැමි
වෑත්තෑවෙ සිසු හිමි
බැහැර කරමියි සිත නැමි
ගුරුන් හට කර ගෞරව
දරුන් ලෙස ගිය බැහැරව
හැඳින් විය ගුත්තිල කව
තුටින් ලිය පිටමන් විය
ගුරුන් හා සම ශිල්ප උගෙනත්
රජුන් පා මුල හඬා වෙණ තත්
නොදුන් දා සිත දිනා පඩිපත්
රිදුම් දුන් හද හඬා වැලපෙත්
අරාජිත ගුත්තිල ගුරු
පරාජිත මූසිල දරු
ජනාහිත විරසක කෙරු
විරාජිත පිත්තල තරු
එදා අද වියපත් වුනු
කියා වෙනසක් නොපෙනුනු
නැතා ගුරු සිත් පරදිනු
සදා ඇත හදවතේ ජය කණු.......
-----------
 
සුරතේ වෙලී මව්පියො පෙර මගේ තියා.
හෝඩියෙ අකුරු කරනට මුල් ගමන ගියා.
හඬමින් මොර හඬින් මව් කොහි ගියෙද කියා
ගුරුමව් සෙනෙහෙ දුන්නයි තුරුලේම තියා.
නුපුරුදු ලොවේ නැගිටින්නට ශිල්ප
දෙමින්
හෝඩියෙ ඉඳන් හුරුකෙරුවයි වචන
සෙමින්.
පොතපත දැනුම සීමා නුඹ එහා
ගිහින්.
දිවි අරගලයෙ පාරයි නුඹ තැනුවෙ
දරුන්.
උතුම් ගුරු මව්පියොන් සිහිකර ගොතා පදවැල් බඳින්නම්..
නමා හිස මම නුඹේ ගුරුහරු පඬුරු තුටු පුද කරන්නම්...
නැමී දෙදනින් නුඹේ පායුගෙ වැඳන් ගෞරව පුදන්නම්..
ආයු බෝ වී නුඹේ දිවියට දීර්ඝායුෂ පතන්නම්.......  
------------
 
අල්ලා අතින් හුරු කොට හැඩතලද මවා
ඉස්පිලි පාපිලිත් එක්කර අකුරු කවා
ගුණගරුකව හැදෙන්නට හදවතට ඔවා
දුන් ගුරු සිතම නමදින්නෙමි දෙදණ නවා
ඇකයෙන් මිදී මා පිය හා බැඳුනු සිත
ගුරුනගෙ සිප් කිරෙන් වැඩෙමින් එහිම වෙත
"ලොව මතු දිනන්නට ඕනෑ" දුවේ පුත
මතකයි සදා දුන් සෙනෙහස සිනා මත
අද මේ ලියන අකුරක් අකුරක් නෑර
ගුරු මව් පියවරුනි මතකෙට එන වාර
අමතක නොවේ යහ මග පෙන්වූ පාර සිහිකර බැතින් පුදදෙන්නෙමි වැඳ සාර

--------------

නමදිමි ඔබ දෙපා.....
ලොවක් දිනන්නට
ගුරුහරුකම් බොහොය ..
නොයෙක් ලෙසට
දුන් ඔවදන් සිහිවුණිය...
පයක් ගසා
හිස ඔසවා ඉන්නෙමිය...
ඔබ සෙවනැල්ල
දිවි ගමනට සවියක්ය...
සිප් සයුරෙ කිමිදෙමින් ගිලිලා
ගුරු පෙමින් පා යුග නැමදලා
බුදු රඳුන් වදාල ලෙසිනා
ආචාරියා දක්ඛිණා දිසා..........
----------------
 
ජීවිතය නම් ගීතයෙහි පද ,
අරුත් ගැන්වූ තනුව ගුරු සඳ !
පොතින් ඔබ්බට දිවිය විඳිනට
හුරුකරපු රන් දෑත් විය නුඹ !
අතු පතර විහිදා වැඩෙන්නට ,
හයිය දුන් මුල් නිසැකවම නුඹ !
නොදුටු ලෝකය දිනා එන්නට ,
පාර පෙන්වූ තරු රටා නුඹ !
පහළ වේවා මෙවන් ගුරුවර ,
දිසාපාමොක් නුඹයි ගරුතර !
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
උපන් දා සිට ජීවිතය කියා දුන් සියලුම ගුරුවරුන්ට දීර්ඝායුෂ ලැබේවා !!!.....
------------------
 
සිප් කිරි ලබා දී නුවණැස දුනි පාදා
නැණ සාගරය කළඹා හද ගුණ සාදා
ගුරු හරු කම් සමග දිවියට දිරි ඈඳා
වන පොත් කරන ගුරු දෙවි නමදිමි පාදා
මා පිය සෙනෙහසින් ඉපදී මෙලොව එද
ගුරුවරු නැවත දුනි ජීවය අතර මැද
කාලය කෙමෙන් ගතවී යන විටදි පැද
උගතුන් බිහි වුනා අකුරක අගය බැඳ
අද මේ විසල් ලෝකයෙ සැරි සරන සඳ
සිහිවේ නිමක් නැත ගුරු දෙවියනගෙ නද
දිඟුකල් දිනේවා සිප්කිරි පොවපු හද
අමතක නොවේ පෙන්වුව ඒ සෙනෙහෙ කඳ........
-----------------
 
 




❤️❤️දෙගුරු නැමදුම🙏❤️🙏
❤️අයනු ආයනූ
කියන්නට මට
කියාදුන්
මනුලො උපන්
දෙවියන් නුඹයි
මම හැබැ ලොව වදිනා...
ජීවිතේ
හරි මගට යන්නට
වැරදි තැන් වල
සැර කරන්නට
අඳුර පරයා ලොව දිනන්නට
දිරිය දුන්
දෙවියන් නුඹයි
මම සැබැ ලොව වදිනා...
තම ලෙයින්
නුපන් උවත්
තම දරුන් සේ
සලකනා
අන් කවරෙකුත් නැත
මේ ලොවේ නුඹ තරම්
අප ගැන
මේ ලෙසින් සිතනා
දෙවියන් නුඹයි
මම සැබැ ලොව වදිනා...
ජීවිතේ අරමුණක් පෙන්වා
යා යුතුම මඟ නුඹම පාදා
පළමු අඩිතාලමත් සකසා
දුන් නුඹයි මන් සැබැ ලොව දකිනා
දෙවියන් නුඹයි මන් සැබැ ලොව වදිනා...
වචනයෙන් තුති පුදන්නට
ලොව වචනයන් මදි වුවත් මාහට
දයාබර මගේ ගුරු දෙවිනි
පතමි මා දිගු කල් සුවය සැමදා
මෙවන් ලෙස තව දරු කැළක් ලබනා...
-------------
 
ගුරු දින තෑග්ග
මා හැර ගොසින් අම්මා තුන් වසරක් වූවා
නුපුරුදු තනිකමට දැන් ටික ටික හුරු වූවා
පාසැල් යන්න කවදත් මා හරියට ප්රිය කෙරුවා
අඟහිඟකම් නිසා දැන් ඒකත් මට වදයක් වූවා
අම්මාගෙ මතක රැඳි අඩක් නිම පුයර පෙට්ටිය
සුවඳටලෙන්ගතුයි මඟ හැරෙයි තනිනොතනිය
මා අසළ ඈ සිටිනා බව නිතරම මට දැනීය
හුරු පුරුදු සුවඳින් මට ජිවිතේ අඩුවක් නොවීය
ගුරු දිනයට මිස්ට දීමට කිසිවක් මට නොවීය
අම්මාගෙ පුයර පෙට්ටිය මා ඇයට තෑගි කළාය
පන්තිය ඉදිරියේ ඇය එය කඩා බැලුවාය
මා දෙස ඇය කිසිදින නැති හසරැල්ලක් පෑය
එදා සිට අද තව වනතුරා ඈ මට ලෙන්ගතුය
ඈ අසළින් අම්මාගෙ සුවඳ හොඳ හැටි දැනීය
ජීවිතය නව පණක් ලැබුනා සේ දැන් මට දැනීය
ඔබයි මට ලැබුනහොඳම ගුරුතුමිය සේ දැනීය....
--------------
 

 
අල්ලට සිඟාවත් නැති එක ඇඳුම ඇඳන්
පැන මඩ කඩිති දිව එයි පොත් මිටිය බදන්
වල් කොල බිම මතට පා යුග හිමින් තබන් ඇල්මෙන් අකුරු දෙන්නට එන ගුරුන් වඳින්
පා පිස්නාවකට දැන්නම් සමයි ගුරුන්
අහු මුළු වල බැනුම් එමටයි හැමට ගුරුන්
දරුවන් පණ පුදා රකිනා මව්නි ගුරුන්
වැජඹෙනු අතිර කල් පිහිටයි දෙවිඳු සමන්
පසුගිය වසර තුන ගුරු දින නෑ ලැබුවේ
ලුනා කැලැන්ඩර් පිටු බොරුවට ඉරුවේ
සුවහස් සිසු දරුවො තනියම ඉකි බිඳුවේ
කළුවර අහසේ ගුරු දෙවිවරු නෑ දුටුවේ
යන එන ගැටලු අඩු වැඩි වශයෙන් දරුවන්
ඉඳහිට පැමිණ කර ගනුදෙනු ගැසූ රබන්
මුඛ ආවරණ පොසිටිවි වු සිසු දරුවන්
ජීවිත අනතුරට පත් ගුරුවරු සමරන්
දත්මිටි කකා රතු ඉර වදිනවට බයෙන්
බත් ටික එක මුලට බැඳගෙන හිත විරියෙන්
මත්වී නේක කොල පුරවන් පාට දියෙන්
සිත් සතුටින්ද ඔබ එන්නේ උදේ පැයෙන්
ගුරු දෙවිවරුන් හට වදිමින් උදේ හවා
නැණ ගුණ වඩන දෙන ඔවදන් හදේ හොවා
ඇල්මෙන් අකුරු කර දිවිමග දුකද නිවා
යන හැම දිනම ගුරු දිනයක් නිති වේවා
 
 -------------
 
සාරි පොටේ එල්ලෙන්නට
සිනා තොටේ නැළවෙන්නට
කොමළ වදන් තෙපළන්නට
හනික වරෙන් මගේ තුරුලට
කළුලෑල්ල තනිවෙලා
හුණු කූරත් තනිවෙලා
පුංචි දෙපා තබන මැදුර
විලංගු දා සිර වෙලා
සිතින් හඩමි රුව දකින්න
එපා තවත් ලොකු තහංචි
යළිත් ලංව සිප ගන්නට
හෙටක් ලැබේවා මතු දින...
----------------
 
පළමුව මම වැන්දා දොහෝත් මුදුනත් තියාම
මගේ ආදර අම්මා නමින් හැමදාමත් දයාම
මුල්ම අකුරු හෝඩිය මට කියල දුන්නේ ඇය නිසාම
අම්මේ ඔබට අද දිනයේ මතු බුදුවන බව කියාම
දෙවනුව මම වඳිමි දෙපා. පාසල් සෙවණි හමුවු මුල් ගුරුතුමියනේ දයා
අඬන මගේ පුංචි හිතට නුඹ දුන් අනේ සෙනෙහේ පපා
ඉනිමන් නැග පෙළින් පෙළට හමුවුනේ හැම ගුරු මවිනට මගේ දයා
දොහොත් මුදුන් දී සිහිකර වඳිනෙමි මම සෙනෙහේ පපා
අහිඳ අකුරු සල්මල් ගහ යට අමරලා සාමා හැම දින
වෙන්න ඉතින් හැම සිතකට අකුරු කරන දෑත නමන
පළමු දැන අකුරෙන් මුල හොඳටම ගිය නුවණ
සැමදා බැති සිහි කර අද වඳිනවා මේ සිරස නවන
හැමදා හැම දින වෙන් කොට සමරණ මේ ගුරු දිනයට
අමතක නැහැ කවි ලියනවා ගුරු දෙගුරුණ් සිහි කරනට
සරස් වතිය ගණ දෙවියන් පාසල තුල ඉන්න අපට
වඳිමි සිතින් අද දෙපා මට අකුරක් දුන් සැම දෙනාට.......
---------------
 
අ යනු ආ යනු සිතෙහි ගෙත්තම් කළ
ආදරණීය ගුරු මව්නි,
දස මස කුස නොදැරුවාට
රතුවන් ලේ සුදුවන් කිරි නොකෙරුනාට
දෙවෙනි මව්නි ඔබතුමිය සදා රැදේ අප හද තුල
විෂම වූ සමාජයක
පහන්ටැඹක් වන්නට කියාදුන්
ගුරු මව්නි ඔබ
සදා රැදේ අප හද තුළ
ඔබ සුන්දර මවකි මට
අපගේ තනිකම පාළුව මැකූ අදුරේදී
මවක් මෙන් එළිය දුන්
ආචාරධර්ම ,සාරධර්ම හා සිරිත් විරිත්
කියාදුන්
අපගේ නැණසිප් දියුණු කරවූ
මගේම ගුරුමව්නි
ලොව දිනන්නට පාර කියාදුන්
තරු දිලෙනා මාවත පෙන්වූ
රෑ අහසේ අදුර මැකූ
මගේම ගුරුමව්නි
ඔබට මෙය උපහාරයක්ම වේවා.......
-------------